කාලයේ වැල්ලට වැසී ගිය සව්කඩි වෙරළ
සමීර කන්නන්ගර
සව්කඩි වෙරළට සමාන්තරව පිහිටි වැලිතලාව සව්කඩි ගම්මානය පුරා ද පැතිර තිබේ. මේ වැලිතලාව සුදු පැහැයට වඩා කළු පැහැයට හුරුය. වසරේ වැඩිම කාලයක් නැගෙනහිර පළාතට වැටෙන දැඩි හිරු රශ්මියෙන් සුදෝ සුදු වැලිතලාව දවා කළු පැහැයට හරවා ඇත. හරියටම කිව්වොත් එම වැලි තලාව රටකජු වෙළෙන්දෙකුගේ තාච්චියේ ඇති රටකජු බදින්නට ගන්නා වැලි මෙනි. ඒ තරම්ම මඩකලපුවට වැටෙන අව්ව සැරය. දහවලේ ගත දවන දාහය නිවන්නට වෙනදා හමන වියළි සුළඟවත් මේ දිනවල නැත.
සව්කඩි ගම්මානය පුරා තැනින් තැන අහස උසට තල්ගස් ඉහළට නැග ඇත්තේ යෝධයන් මෙනි. ඊට අමතරව අතරින් පතර කජු ගස් දෙක තුනක් ද දක්නට ඇතත් ඒ සියල්ල කේඩෑරි වී ගොසිණි. කොළ පැහැති තණකොළ ගහක් නිකමටවත් දකින්නට නැත. ඒ වෙනුවට ඇත්තේ දුඹුරු පැහැයට හැරුණු වියළී පරඬැල් බවට පත් වූ කටු පඳුරු පමණි. වියළි කාලගුණයට ඔරොත්තු දෙන කටු පඳුරුත් නියඟය හමුවේ වියළී ගොසිණි.
තල් අරණේ තනි වූ ජීවිත
යුද්ධය නිමවී 17 වසරකට අධික කාලයක් ගත වුණත් සව්කඩි ගම්මානයේ ගම්වැසියන්ට නම් සංවර්ධනයේ අරුණලු වැටී ඇති බවක් දකින්නට නොමැත. තවමත් හරියට මාර්ග පහසුකමක්වත් නැති මේ ගම්මානයේ ජීවත්වන ජනතාවගේ ජීවිතවල ද සංවර්ධනයක් සේයාවක්වත් පෙනෙනා තෙක් මානයකවත් නැත. බොහෝමයක් ඉඩම්වල වැට මායිම් සලකුණු කොට ඇත්තේ තල් අතුවලිනි. එහෙමත් නැතිනම් ටකරමකිනි. උතුරට මෙන්ම නැගෙනහිරට ද තල් ගස කප්රුකකි. තවමත් ඇතැම් නිවෙස් සෙවිලි කර ඇත්තේ තල් කොළ වලිනි. වැට මායිමට තල් අතු ය. තවත් තැනක තල් කුරුම්බා මෙන්ම කොට්ට කිලංගු විකුණන්නට ඇති අයුරු දුටු අපට සිතුණේ දකුණට පොල් ගස මෙන්ම උතුරට තල් ගස ද මහා සම්පතක් කියා ය.
ගිනි ගහන මද්දහනේ සව්කඩි ගම්මානයට පා තැබීමත් අතිශය දුෂ්කර ය. ඒ තරම්ම වැල්ල ගිනියම් ය. මාස ගණනකින් දිය බිඳක් පහස නොලද පොළොවේ ඇවිද යෑමට අපමණ වෙහෙසක් දැරිය යුතු ය. සෙරප්පුව සහිත පය පොළවේ තැබූ සැණින් අඟල් ගණනාවක් යටට කිඳා බසී. ඒත් එක්කම වටේට ඇති වැලි පාවහන් තුළට ආ පසු ගිනියම් වැලි ඉවත් කරන්නට වෙනම වෙහෙසක් දැරිය යුතු ය.
මිනිස්කම් හළු කළ යුද්ධය
අප ඇවිද යන මග තල් අතු වලින් වටකළ බිම්කඩක කුඩා ගෙයකි. එහි වහලය මෙන්ම හතර වටේම වට වී ඇත්තේ ටකරන් තහඩුවෙනි. ගිනි ගහන අව් කුටකේ ගහක් යටවත් සිටිය නොහැකි පසුබිමක මේ නිවසේ කෙසේ නම් වාසය කරන්න ද? සැබවින්ම එය ගෙයක් ඇයි හඳුන්වන්නටත් බැරි තරම්ය. ඒ තරම්ම කුඩා ය. නමුත් එහි පවුලක් වාසය කරයි. නිවස ඉදිරිපස වයස අවුරුදු හැටක් හැත්තෑවක් යැයි සිතිය හැකි කෙසඟ පුද්ගලයෙකි. වියළී ගිය ගස්කොලන් මෙන්ම එහි මිනිසුන්ගේ ජීවිත ද නැගෙනහිරට පායන අව්වෙන් දවා දවා හලු කර තිබේ.
උඩුකය නිරුවත් මේ මිනිසා ඉතා ඕනෑකමින් අප දෙස බලා සිටියේ මේ නම් තම ගම් ප්‍රදේශයේ පිරිසක් නෙවන බව හොඳාකාරවම දන්නා බැවිනි. මේ වියපත් මිනිසාගේ නිවස අද්දරින් වැටී ඇති වැලි පිරුණු පටු මාවත කෙළින්ම දිවෙන්නේ මීට අවුරුදු 36කට පෙර සව්කඩි ධීවර ගම්මානයේදී එකම තැන ඝාතනය වුණු අහිංසක සාමාන්‍ය වැසියන් 31 දෙනකුගේ සිරුරු මිහිදන් කළ ස්ථානයේ ඉදිකොට ඇති ස්මාරකය වෙතය.
1990 වසර ශ්‍රී ලංකා ඉතිහාසයේ ලේ වැගිරීම් ඉහළම වසරකි. මාස 13ක් පුරා රජය සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර පැවති සටන් විරාමය ජුනි මාසයේදී බිඳ වැටිණි. ඒත් සමඟ උතුර නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට යළිත් යුද බිය දැනෙන්නට පටන් ගත්තේ ය. ජූනි 11 වැනිදා අවි ආයුධ අතහැර යටත් වූ පොලිස් නිලධාරීන් 600 අධික ප්‍රමාණයක් තිරුක්කෝවිල්හි දී සමූල ඝාතනය කිරීමත් සමඟ ආරම්භ වූ නැගෙනහිර ලේ වැගිරීම් ඉන් අනතුරුව කාත්තන්කුඩි, එරාවූර් දක්වා ව්‍යාප්ත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් සව්කඩි ගම්මානයේ දමිළ වැසියන් 31 දෙනකුට ද සිය ජීවිත අහිමි විණි. අප මේ පියනඟන්නට සූදානම් වන්නේ එම ව්‍යසනයෙන් මියගිය අය වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් ඉදිකළ එම ස්මාරකය වෙතය.
අප එම ස්මාරක දෙසට පියනගන්නට සූදානම් වනවාත් සමඟම මේ වියපත් පුද්ගලයා දමිළ බසින් අපෙන් යමක් විමසුවේ ය. එකම රටක වාසය කළත් අපට දමිළ බසින් කතා බහ කිරීමට නොහැක. ඔවුන්ට සිංහල බසින් කතාකරන්නට නොහැක. නමුත් අප සමග සිටි ජෝර්ජ් අප හා ඔහු අතර පාලමක් විය. ඔහු දමිළ බස මෙන්ම සිංහල බස ද හොඳින් හැසිරවිය හැකි පුද්ගලයෙකි. ඔහු එම පුද්ගලයා සමඟ මොන මොනවදෝ මුමුනණු දක්නට ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස එම පුද්ගලයා සමඟ වචන කිහිපයක් හුවමාරු කර ගැනීමේ අවස්ථාව අපටත් උදාවිය.
ලෙයින් තෙත් වූ සව්කඩි වෙරළ
අප මුලින්ම මේ වියපත් මිනිසාගේ කුඩා පැල්පත දෙසට පිය නැගුවේ සෙවණක් සොයමිනි. කුඩා ඉඩමෙහි වූ කජු ගස යට සෙවණ අපගේ කතාබහට ඉඩ හසර සැලසුවේ ය. මීට 36 වසරකට පෙර සිදු වූ ඛේදවාචකයේ මතක සටහන් තවමත් ඔහුගේ සිතින් පහව ගොස් නැත. කොටු කොටු කමිසයකින් නිරුවත් උඩු කය වසාගනිමින් අප ඉදිරියට පැමිණි ඔහු ආචාරශීලීව අප පිළිගෙන අපට වාඩිවෙන්නට පුටුවක් දෙකක් සොයන්නට යාබද නිවෙස් වෙත යන්නට සැරසුණේ ය. නමුත් අපගේ බලවත් පෙරැත්තය හමුවේ ඔහු නතර වී දිග සුසුමක් හෙළුවේ ය. කේඩෑරි වී ගිය ඔහුගේ සිරුර එහෙම පිටින්ම කාල වර්ණය. හම රැලි වැටී ඇත. හිස සහ රැවුල පමණක් සම්පූර්ණයෙන්ම සුදෝ සුදු ය.
පළමුව ඔහුගෙන් මෙම සිදුවීම විමසා තවත් වෙහෙසට පත් නොකළ යුතු ය. ඔහු හා කළ කෙටි පිළිසඳරකින් පසු ඔහුගේ නිවස පිටුපස ඇති ස්මාරකය පිළිබඳ කතාව කියන්නට ඔහුටම අවස්ථාව සලසා දුන්නෙමු. තරමක නිහඬතාවකින් පසු ඔහු සිය කටහඬ අවදි කළේ ය.
“මට තවමත් ඒ දවස අද වගේ මතකයි. ඒ 1990 අවුරුද්දෙ සැප්තැම්බර් මාසේ 20 වැනිදා. අපි ගෙදර ඉන්නකොට උදේ 9.00ට විතර වෙඩි තියන සද්දයක් ඇහුණා. ඒ වෙනකොටත් නැගෙනහිර පළාතේ මුස්ලිම් ගම්මාන කිහිපයකටම ආයුධ සන්නද්ධ පිරිස් පැමිණ කපා කොටා ජනතාව ඝාතනය කරලයි තිබුණේ. ඒක නිසා අපි වෙඩි සද්දෙ ඇහෙනකොටම දුවන්න පටන් ගත්තා. එක පැත්තකට දුවනකොට ඒ පැත්තෙනුත් වෙඩි සද්දයක් ආවා. දෙපැත්තකින් වට කරලා තමයි වෙඩි තිබ්බේ. කොහෙට දිව්වත් වෙඩි කන්න තමයි වෙන්නේ. ඉතින් අපි කට්ටිය මුහුදට පැනල බේරෙන්න හරි කියලා හිතලා මුහුද පැත්තට දිව්වා. ඒ පැත්තට දිව්ව නිසා තමයි අපේ ජීවිත බේරුනේ. දවසින් දවස මේ පැත්තෙ තත්ත්වය නරක අතට හැරිල තිබුණු නිසා අපි කොයිකටත් සූදානමින් හිටියෙ. ඒක නිසා තමයි දුවලා හරි ජීවිතේ බේරගන්න පුළුවන් වුණේ. මේ ගමට ගහන්න ඇවිත් තියෙන්නේ මුස්ලිම් අයයි ආරඏක අංශවල අයයි කියලා ගමේ අයට හොඳටම විශ්වාසයි. ඒ ඊට දවස් ගාණකට කලින් මුස්ලිම් ගම්මානවලට එල්ල වුණු ප්‍රහාරයට පළිගැනීමක් විදිහට. කොහොම වුණත් 9.30 වෙනකොට ඔක්කොම වෙලා ඉවරයි.”
සැක සංකා ඉතිරි කළ පාවහන් සලකුණු
දැන් 62 වැනි වියෙහි පසුවන පසුවන රාජලිංගම් චෝදනා කරන්නේ මුස්ලිම් ජනතාව, ආරක්‍ෂක අංශ සම්බන්ධ කරගෙන මෙම ප්‍රහාරය එල්ල කළ බවටය.
රාජලිංගම් සිය කතාවට විරාමයක් දෙද්දී ඔහුගේ නිවසට අල්ලපු නිවසේ වාසය කරන ඔහුගේ සහෝදරයා වන අමලදාස් ද අපේ කතාවට සම්බන්ධ වුණේ එයට ඌන පූර්ණයක් එකතු කිරීමේ අදහසිනි. ඔහුත් සව්කඩි ප්‍රහාරයෙන් දිවි බේරා ගත් පුද්ගලයෙකි.
“ඔය සිද්ධියෙන් සතියකට විතර පස්සේ තමයි අපි ආපහු ගමට ආවේ. ඇවිත් බලනකොට ගමේ තිබුණු ගෙවල් දොරවල් මොකුත් නැහැ. ඔක්කොම කඩලා බිඳලා විනාශ කරලා එක තැනකට දාලා ගින්දර දාලා තිබුණා. පස්සේ අපි හොයලා බලනකොට ඒ ගිනිගොඩ ගහල තිබුණු තැන තමයි මරපු මිනිස්සු ඔක්කොම වළවල් දෙකකට දාලා වහලා තිබුණේ. අපි හරියටම දැක්කේ නැහැ මේක හමුදාවෙන් කළා ද එල්.ටී.ටී.ඊ එකෙන් කළා ද කියලා. මොකද වෙඩි සද්දෙ ඇහෙනකොටම අපි ජීවිතේ බේරගන්න ගම දාලා දිව්වා. ගමේ මිනිස්සු මේක ආරක්‍ෂක අංශ කළා කියලා කියන්නේ තිබුණු සපත්තු අඩි සහ සමහරු දැකපු විදිහට ආපු අය ඇඳන් හිටපු යුනිෆෝම් නිසා.
ඊට පස්සේ අපි අවුරුද්දක් විතර යනකම් රතුකුරුස සංවිධානය විසින් පිහිටුවපු කඳවුරක තමයි ජීවත් වුණේ. කාලයක් යනකන් අපි බයෙන් ජීවත් වුණේ. හැමදාම කඳවුරුවල ජීවත්වෙන්නත් බැහැනෙ. පස්සෙ ටිකෙන් ටික ආපහු ගමේ පදිංචියට ආව.
සව්කඩි වැසියන්ට යුක්තිය තව දුරද?
දැන් යුද්දෙ ඉවර වෙලත් අවුරුදු කීයක් වෙනව ද? අද වෙනකන් මේ සිද්ධියට මුහුණදුන් ජනතාවට සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ. මැරුණු මිනිස්සු වෙනුවෙන් රජයෙන් සත පහක මුදලක් ලැබුණේ නැහැ. අපට ආණ්ඩුවෙන් කියලා ලැබුණු එකම වන්දිය තමයි සුනාමිය වෙලාවේ ගෙවල් දොරවල් කැඩුණු එකට දීපු රුපියල් ලක්ෂ හතර. ඒකෙන් තමයි මේ තරමටවත් ගෙවල් දොරවල් අටවගෙන ඉන්නේ. අපි ආණ්ඩුවට කියන්නේ පරණ දේවල් වෙලා ඉවරයි. දැන්වත් අපට යාන්තම් පොළවේ පය ගහලා කාටවත් අත නොපා ජීවත් වෙන්න ආණ්ඩුවෙන් යම් උදව්වක් දෙන්න කියලයි.
අපි කරන්නේ ධීවර රස්සාව. අපට ලොකු ඔරු, බෝට්ටු නැහැ. යාන්තම් මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන තමයි ජීවත් වෙන්නේ. ගොඩක් දවස්වලට අපේ ආදායම රුපියල් හය හත්සීයයි. ඒකෙන් තමයි ජීවත් වෙන්නෙ. මේ වැලි පොළොවෙ වෙන කිසිම දෙයක් වගා කරන්නත් බැහැ. එහෙම වවන්න කියලා ඉඩකඩම් ඇත්තෙත් නැහැ. වතුරත් නැහැ. මේ හදලා තියෙන ස්මාරකයත් හැදුවෙ මේ ව්‍යසනයෙන් ජීවිත නැතිවුණු අයගෙ පවුල්වල අය එකතුවෙලා. අපි හැම අවුරුද්දකම සැප්තැම්බර් 20 වැනිදට මෙතනට ඇවිත් මල් තියලා පහනක් පත්තුකරලා මියගිය අය සමරනවා.”
අමලදාස්ට මඳ විරාමයක් දුන් රාජලිංගම් යළිත් සිය හඬ අවදි කළේ ය.
“මහත්තයො අපට කියලා ආණ්ඩුවෙන්වත් වෙන කිසිම ආයතනයකින් මහා ලොකු දේවල් ලැබිලා නැහැ. අපි එහෙම දේවල් ඉල්ලන්නෙත් නැහැ. අපි දැනටත් බොන්නෙ නළ ළිංවල වතුර. අපට හොඳ පිරිසිදු වතුර ටිකක්වත් දෙනවනම් ලොකු දෙයක්. මේ පළාත්වලට වතුර කියන්නෙ රත්තරන් වගේ තමයි.”
ඔවුන්ට සමුදී අප ස්මාරකය දෙසට යෑමට සූදානම් වෙද්දී එහි සිටි කිහිප දෙනෙක්ම විමසා සිටියේ තමන් පිළිබඳ මාධ්‍ය මගින් පළකළ පසුවවත් වගකිවයුත්තන්ගේ අවධානය යොමුවේද කියායි. මාධ්‍යවේදීන් වශයෙන් අපට කළ හැකි සීමාව අප ඔවුන්ට නොසඟවා පවසා සිටීමට අමතක නොකළේ ඔවුන් තුළ බොරු බලාපොරොත්තු ඇතිකිරීම සුදුසු නොවන බැවිනි.
මේ ගමනේදී අපට මග පෙන්වන්නට පැමිණියේ 1990 අගෝස්තු 11 වැනිදා එරාවූර්හිදී මුස්ලිම් වැසියන් 116-175 අතර සංඛ්‍යාවක් ඝාතනය වුණා යැයි කියන සිද්ධියට මුහුණ දී යාන්තම් දිවි බේරාගත් ජහීරා මහත්මියයි. ඇය එහිදී සඳහන් කළේ ගුවන් මගින් පොළොන්නරුව රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බැවින් තම දිවි බේරුණු බව ය.
සියල්ල ඇසින් දුටු නිහඬ සාක්ෂිකරු
සව්කඩි ප්‍රහාරයෙන් මියගිය අහිංසක වැසියන් සිහිකරන්නට ඉදි කර ඇති කොන්ක්‍රීට් ස්මාරකය අසල අතුපතර විහිදුණු විශාල නුග රුකකි. එහි අපූරු පුවරුවක් එල්ලා තිබේ. එහි සඳහන් වන්නේ “මෙම ස්ථානයේ සිදු වූ ඝාතනයන්ට මෙම ගස සාක්ෂි දරනු ඇත” යනුවෙනි. සැබවින්ම එම ගසට කතා කළ හැකි නම් මෙම අපරාධයන් සිදුකළේ කවුරුන් ද යන්න ස්ථිරවම පවසනු ඇත.
එම ස්මාරකයේ සඳහන් වන අන්දමට එකම පවුලේ දහතුන් දෙනකු මෙම ස්ථානයේ දී ඝාතනය කොට ඇත. ඔවුන්ගේ නම් සියල්ල මෙහි සඳහන් කොට ඇත. අප සමඟ ගිය ජෝර්ජ් මෙන්ම ජමීරා ද සඳහන් කළේ එම දහතුන්දෙනාම ක්‍රිස්තියානි ආගම අදහන දමිළ ජාතිකයන් බවය. සව්කඩි ප්‍රහාරයේදී ධීවර කටයුතුවල යෙදී සිටි ධීවරයන් හය දෙනකුට ද ජීවිත අහිමි වී ඇති අතර කැලය තුළදී තවත් දෙදෙනකු ඝාතනය කළ බව ගම්මු කියති. ජහීරා මහත්මිය ඡායාරූපයක් පෙන්වමින් සඳහන් කළේ එකල මෙම සිදුවීමට මුහුණ දී තුවාල ලබා සිටි වයස අවුරුදු හතරක දැරියක් ආරක්‍ෂක අංශ මහමග දමාගිය බවත් දැන් ඇය හතළිස් හැවිරිදි තරුණියක බවත් ය.
අප සමග සම්බන්ධ වූ කිහිප දෙනකුම කියන්නේ එකම කාරණයකි. ඒ නැගෙනහිර සිදුවූ මෙම ඝාතන සම්බන්ධයෙන් එවක රජය හෝ ජනමාධ්‍යවල ඊට වැඩි ඉඩක් නොලැබුණු බවය. අදටත් ඒ පිළිබඳ සොයන්නෙකුට ඇත්තේ දමිළ මාධ්‍ය වාර්තා පමණි. මෙය ඇතැම්විට සිංහල ජාතිය කෙරෙහි ගැටලුසහගත තත්ත්වයක් ඇතිවීමට මාධ්‍ය මගින් වූ අතපසුවීම් ද හේතුවක් වන්නට පුළුවන. මේ ඝාතන ගැන දමිළ මාධ්‍ය හෙළිදරව් කළේ සව්කඩි ප්‍රහාරයෙන් පුද්ගලයන් 33 දෙනකු මිය ගොස් ඇති බවය. එහෙත් ගම්වැසියන් පවසන්නේ මියගියේ 31 දෙනකු පමණක් බවය. මේ කතාව අද සිතන්නට කාරණයක් ඉතුරුකර තිබේ.
මේ ඛේදවාචකය සිදුවී දැන් හරියටම වසර 36 ගෙවී තිබේ. තිස් අවුරුදු සාපලත් යුද්ධය නිමා වී මේ ගෙවෙන්නේ ද දාහත් වසරය. වත්මන වනවිට උතුර නැගෙනහිර බිමට සංවර්ධනයේ නව අරුණලු වැටී තිබුණ ද ජහීරාලාගේ, රාජලිංගම්ලාගේ ජීවිතවලට තවමත් නව අරුණලු උදාවී නැත. ඔවුන් එදාවේල සරිකරගන්නේ ජීවිතයේ අනේක දුක්ගැහැට විඳිමින් ය.
ඔවුන් බලා සිටින්නේ තම සමීපතමයන් වෙනුවෙන් කෙදිනක හෝ යුක්තිය ඉටුවන තුරු ය. බොහෝවිට මේ ම්ලේච්ඡ ඝාතනයන්ට වගකිවයුත්තන් මිහිපිට ජීවත් වනවා ද යන්න ප්‍රශ්නයකි. දේශපාලනයේ කඩතුරාවට මුවා වී ඔවුන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන බොහෝ අය ද අප අතර නැතුවා නොවේ ය. වර්තමාන රජය හෝ කළ යුතු වන්නේ මින් ඉදිරියට මෙවැනි වාර්ගික ගැටුම් ඇති නොවීමට අඩිතාලම සැකසීමය.
