සත්‍යය නොදැන සුරලොව ගිය වැලිකඩ හොඳම සිරකරු සත්‍යා
නොදැන කළ වරදට කොළ නැති ගහට ඉරණම ලියැවුණු සත්‍යා දශක තුනකට වැඩි කාලයක් තිස්සේ සිහින මැව්වේ අලුයම නිදි ගැට හැර අවදි වී තල් ගස් සෙවණේ ඇවිදිමින් අරුණැල්ලේ සුව විඳින්නටය. වැලිකඩ සිපිරිගෙයි තාප්පයේ දිගු සෙවණැලි බිම දිගේ ඇදෙන ජාමයට බිත්ති හතරකට මුවා වෙන සත්‍යා පැදුරකට බර වූවේ ඒ හීනය සැබෑ කර ගත හැකි දිනය ගැන කල්පනා සයුරේ ගිලෙමිනි. ඒත් ඒ සිහින ඔහුගේ සිත පතුලේ මුල් ඇදගන්නාතුරු සත්‍යාට හැමදාමත් දකින්නට වූයේ අඳුර පමණය. අඳුර අතුරින් සත්‍ය පැතූ සත්‍යා දෙතුන් දවසකට ඉහතදී අඩි හයක් පොළෝ කුහරයක අඳුරේ ගිලී ගියේ කිසිදු දිනෙක ආලෝකය නොදැකය.
උප්පැන්නේ අනුව සත්‍ය නම ජයසීලන් සත්‍යානාදන්ය. මේ කොදෙව්වේ වයඹ දිග වෙරළේ මන්නාරමේය. දරුවන් සිව් දෙනකුගෙන් යුතු පවුලේ වැඩිමහලු පිරිමි දරුවා හැටියට උපත ලද සත්‍යාගේ පවුලේ උදවිය එල්ටීටීඊයෙන් මදි නොකියන්නට බැට කෑහ. ත්‍රස්තවාදීහු සත්‍යාලාගේ ගම්බිම් කණපිට පෙරළුහ. කරවල ව්‍යාපාරිකයකු වූ සත්‍යාගේ අප්පා සිය අඹු දරුවන්ගේ ආරක්ෂාව පැතුවේය. ඔහු කළේ තම දරු පැටවුන් ඉන්දියාවේ තමිල්නාඩුවට යැවීමය. ඒත් අප්පාට දරුවන් සමග යන්නට නොහැකි වූයේ රස්සාව අතරමග දමා යන්නට නොහැකි නිසාය.

අම්මා සමග තමිල්නාඩුවට ගිය සත්‍යාට හිටිහැටියේ ආපසු ගමරට බලා එන්නට වෙන්නේය. ඒ ඔහුගේ අප්පා රෝගාතුර වී සිටින බවට ලද ආරංචියක් නිසාය. සත්‍යා ලංකාවට යන බව දැනගත් තමිල්නාඩුවේ උන් අයෙක් උදව්වක් ඉල්ලුවේය. ඒ, ඔහු දෙන පාර්සලය ලංකාවට රැගෙන ගොස් තමන්ගේ මිතුරියට දෙන්නැයි කියාය. මිතුරිය පාර්සලය ගන්නට කටුනායක ගුවන්තොටුපොළට එන බවද ඔහු කියා ඇත්තේය. ඒ වන විට ගැටවරයකු වූ සත්‍යාට මේ උදව්ව නොකර ඉන්නට තරම් හේතුවක් නැති විය. ඔහු පාර්සලයද රැගෙන අප්පා බලන්නට සිතාගෙන ලංකාවට එන්නේ එක්දහස් නවසිය අනූහතරේ මැයි මස විසිපස් වැනිදාය. ඒත් පාර්සලය ගන්නට එනවැයි කී කාන්තාව ගුවන්තොටුපොළට නාවාය. සත්‍යා ඈ එනතුරු මග බලා සිටියේය. ඈ වෙනුවට ඔහු සොයා ආවේ පොලිසියය.
ඔහු කියා තිබෙන හැටියට ඔහු ළඟ තිබූ පාර්සලයේ ඇත්තේ මත්කුඩු බව සත්‍යා දැනගත්තේ පොලිසිය කියූ විටය. සත්‍යා පැටලී උන්නේ මර උගුලකය. පොලිසිය සත්‍යාව අත්අඩංගුවට ගත්තේය. ඒ වන විට සත්‍යාට යාන්තම් අවුරුදු විසි දෙකක් වුණා විතරය. පාර්සලයේ ඇත්තේ මොනවාද යන්න ගැන තමන් නොදන්නා බව කීවද පොලිසිය එය ගණනකට නොගත්තේය. කෙතරම් ඇවිටිලි කළද ඉන් ඵලක් වූයේ නැත.
සත්‍යා පවසන්නේ ඇත්තක් වුවද බොරුවක් වුවද ඔහුට ගැලවී යන්නට දෙන්නට පොලිසියට නොහැකිය. ඒ නීතියේ හැටිය. සත්‍යා ළඟ තිබූ පාර්සලයේ ග්‍රෑම් විසිතුනක මත්ද්‍රව්‍ය තිබී ඇත්තේය. නොදැන කළද, වරදට දඬුවම් විඳින්නට සත්‍යාට වෙන්නේය. අප්පා බලන්නට ආ ගමන නැවතුණේ පොලිසියෙන්ය. පොලිසියෙන් අධිකරණයට රැගෙන ගිය සත්‍යාව කොළ නැති ගහට නියම කෙරුණේය. ඒ, එක්දහස් නවසිය අනූ හයේ සැප්තැම්බර් විසි හත් වැනිදා ය. අප්පා බලන්නට ආ සත්‍යා වැලිකඩ සිපිරිගෙයි සිරවෙන්නේ එහෙමය.
සත්‍යාගේ කතාව අපට කීවේ ඔහු සමග එකට කල්දේරම් බත් කෑ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නය. ඔහු නීතිඥයෙකි. අජිත් සිපිරිගෙට යන්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ය. අජිත්, වසර තුනහමාරක කාලයක් කල්දේරම් බත් කෑවේය. ඔහුට සත්‍යා හමුවන්නේ වැලිකඩ සිපිරිගෙයි සිටි කාලයේදීය.
සත්‍යාට මේජර් අජිත් හමුවූ විට සත්‍යාගේ හිතේ අලුත් බලාපොරොත්තුවක් දලු ලා වැඩෙන්නට පටන් ගත්තේය. සිපිරිගෙයි ගෙවුණු තත්ත්පරයක් පාසා ඔහු පැතූ සිහිනය ඉටුවන දිනයක් ගැන ඔහු තව තවත් සිහින මැව්වේය. ඒ, අජිත් ප්‍රසන්න ඔහුට පොරොන්දුවක් වූ නිසාය.
“මල්ලි මං උඹව කොහොමහරි නිදහස් කර ගන්නවා… එතකල් අල්ලගෙන හිටපන්….! ”අජිත් අයියා සත්‍යා මල්ලිට පොරොන්දු වූවේය.
හිර ජීවිතය අහවර කළ අජිත් ප්‍රසන්න එළියට ආවේ ගිය මාසේය. සත්‍යාගේ මතකය ගැන ඔහු සිය හඬ අවදි කළේය.
“සත්‍යාව වැලිකඩදි මට මුලින් හමුවුණත් මම එයාත් එක්ක කතා කළේ නැහැ. මම ගාල්ලෙ නඩුවට එක්කරගෙන ගිහින් ආයෙ එද්දි ලොකේෂන් එකේදී මම සත්‍යාව දකිනවා. ලොකේෂන් එක කියන්නෙ සිරකරුවන් ලියාපදිංචි කරලා නම, වාට්ටුව, වරද මොකක්ද කියලා අහලා චිට් එකක් ලියල දෙන තැනක්. මම මැහුම් වාට්ටුවෙ වැඩ කළා වගේ සත්‍යා වැඩ කළේ ලොකේෂන් එකේ. මම මැහුම් පාටියෙ වැඩ කරද්දි එතන හිටපු සිරකරුවෙක් මගෙන් ඇහුවා, අජිත් ඔයා දන්නවද කිසිම වරදක් නොකර තමිල්නාඩුවෙ ඉඳන් ආව කෙනෙක් වෙනත් කෙනෙක් දුන්න කුඩු පාර්සලයක් නිසා එයාර්පෝට් එකේදී අල්ලලා අවුරුදු ගාණක් තිස්සේ හිරගෙදර ඉන්නවා කියලා. මම එතකොටයි සත්‍යා ගැන දැනගන්නෙ. මම සත්‍යා එක්ක කතා කරලා එයාව හඳුනගත්තා…” විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න කියන්නේය.
විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න හෙළිදරව් කරන ආකාරයට තුරුණු වියේදී සිපිරිගෙට යන සත්‍යාට මුහුණ දෙන්නට වී ඇත්තේ කෙනෙහිලිකම් රැසකටය. මත්ද්‍රව්‍ය චෝදනාවට කොළ නැති ගහට සින්න වුවද සත්‍යා ඒ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට ගොස් ඇත්තේය. ඒ, තමන්ට නිදහස පතාගෙනය. ඒත් ඔහුට නිදහස හිමිවූයේ නැත. නිදහස අහිමි වුවද ඔහු තැබූ පියවර තරමක් සාර්ථක විය. ඒ ගැනද අජිත් ප්‍රසන්න අපට කීවේය.
“සත්‍යාගේ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණයෙන් ඉවත් කරලා. ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට පරිවර්තනය කර එය වසර විස්සක සිර දඬුවමකට සීමා කරලා. මේ නිර්දේශය බන්ධනාගාර අධිකාරි හරහා එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට යවන්නත් නියෝග කරලා. ඒ තීන්දුව ලැබෙන්නෙ එක්දහස් නවසිය අනූ අටේ ඔක්තෝබර් විසි වැනිදා. හැබැයි ඒ නිර්දේශය ජනාධිපති දක්වා ගිහින් නෑ. මට සත්‍යා හමුවෙද්දීත් අවුරුදු විස්සකට වැඩි කාලයක් සිරදඬුවම් විඳිනවා. එය මොනතරම් ඛේදනීයද…”විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න කියන්නේය.
වැලිකඩ සිපිරිගෙයි බිත්ති හතරකට මුවා වී ඇති දැඩි වුණද සත්‍යා හොඳින් හැදුණේය. නපුරුකම් නොකළේය. කොටින්ම කියනවා නම් හිරගෙදර නිලධාරින්ටත් වඩා ඔහු හිරගෙදර රාජකාරි හොඳින් දැන සිටියේය. ආධුනික නිලධාරින්ට වරදින තැනදී නිවැරැදි කළේය. ඔහුගේ කල්ක්‍රියාව යහපත් විය. ඒ නිසාම හොඳම රැඳවූවාට හිමි කුසලතාවට හිමි සහතිකය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් ගන්නත් සත්‍යාට හැකිවුණේය. ඒ දෙදහස් දහයේදීය. මේ සහතිකයද සත්‍යා, විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට පෙන්නුවේය.
සත්‍යාට ලැබුණු නඩු තීන්දුව කියවා තේරුම් කර දීමට 1999 වසරේ දිනෙක සත්‍යාව මීගමුව මහාධිකරණයට යොමු කර ඇති බව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න කියන්නේය. සත්‍යාගේ දඬුවම් බලපත්‍රයේ දඬුවම හැටියට වසර විස්සක සිර දඩුවමකි යනුවෙන් එදින ලියැවී ඇත්තේය. සිපිරිගෙයි දී සිරකරුවන්ගේ හැසිරීම බලන්නට එකල බන්ධනාගාර රීති හතළිහ යටතේ සිව් වස් සමාලෝචනය ක්‍රියාත්මක වී ඇත්තේය. සත්‍යා ගැනද එකල සමාලෝචන මණ්ඩලයෙන් සමාලෝචනය කර ඇත්තේය. අජිත් ප්‍රසන්න පවසන අන්දමට සත්‍යාගේ නම දෙදහස් දෙක වසරේදී ජීවිත සමාව ලැබෙන ලැයිස්තුවේ ද ලියැවුණේය. ජීවිත සමාව ලැයිස්තුවේ නම ලියැවුණද සත්‍යා සිපිරිගෙයින් පිටත ලෝකය දකින දිනයක් ගැන කියන්නට කිසිවකුටවත් වුවමනාවක් තිබී නැත.
සත්‍යාගේ දඬුවම ගැන අභියාචනාධිකරණයෙන් කළ නිර්දේශය බන්ධනාගාරයෙන් පැහැර හැර ඇතැයි කියමින් දෙදහස් හත වසරේ ඔක්තෝබර් මාසයේ දිනෙක අධිකරණ අමාත්‍යාංශ සහකාර ලේකම් පියුමන්ත පීරිස් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් වජිර විජේගුණවර්ධනට ලිඛිතව දන්වා ඇති බවද විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න කියන්නේය. එයින්ද සත්‍යාට ඵලක් වී නැත.
අජිත් ප්‍රසන්න සිපිරිගෙයි සිටි කාලයේ ඔහුගේ බිරිය තවත් සිරකරුවන්ගේ හිතමිතුරන් එකතු කරගෙන සංවිධානයක් පිහිටුවාගෙන තිබුණේය. ඒ, ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’ සංවිධානයය. අජිත්ගේ දුක සැප විමසන්නට බිරිය ආ වේලාවක සත්‍යා ගැන තොරතුරු ඔහු බිරියට කීවේය. එම සංවිධානය සත්‍යා වෙනුවෙන් හඬ නැගුවේය. ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිපියක් මගින් මේ බව දැන්වූවේය. එහි පිටපත් අගමැතිවරියටත් අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර ඇතුළු මැති ඇමැතිවරුන් කිහිප දෙනකුටම යැව්වේය. ඒත් අවාසනාවක මහත කෙතරම්ද කියන්නේ නම් මේ කිසිවකින්වත් සත්‍යාව සිපිරිගෙයි මහ විශාල දොරටු අතුරින් පිටතට ගන්නට හැකි නොවීය.
එමතු නොවේ ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’ සංවිධානය 2024 දෙසැම්බර් මාසයේදී කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක්ද පැවැත්වීය. මේ විරෝධතාවට සත්‍යාගේ අම්මා වූ ජයසීලන් පුෂ්පලීලා ද මන්නාරමේ සිට පුතු වෙනුවෙන් ආවාය. අද වන විට අසූ හැවිරිදි වියෙහි පසුවන ඇයටද අපි දුරකථනයෙන් කතා කළෙමු. ඇය කීවේ සත්‍යා පුතුගේ සිර දඬුවම අධිකරණයෙන් වසර විස්සකට සීමා කළ බවය. සත්‍යා වෙනුවෙන් විරෝධතාව පැවැති දා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් සමග කතා කරන්නට පුෂ්පලීලාට අවස්ථාව හිමිව ඇත්තේය. වසර දෙකකින් සත්‍යාට නිදහස් කරන බවට බන්ධනාගාර නිලධාරින් එදා පොරොන්දු වූ බව පුෂ්පලීලා කියන්නීය.
හිරගෙදර හොඳම රැඳවූවා වූ සත්‍යා අවුරුදු තිස් දෙකකට පසු ගිය සතියේ ගෙදර ගියේය. ඒත් ඔහු ගෙදර ආ සතුට සමරන්නට අම්මාට හෝ පවුලේ හිතවතුන්ට වාසනාවක් නොවීය. ඒ මන්ද යත් සත්‍යා යළි ගෙදර ගියේ යළි නාරින්නටම දෑස් පියාගෙන නිසාය. සත්‍යාගේ පුංචි අම්මාගේ පුතා වන අන්තෝනි අමිර්දනාදන් අපට කීවේ කලක පටන් අසනීපයෙන් සිටි සත්‍යා හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවට දැන්වූ බවය.
සත්‍යා සඳහටම දෑස් පියාගන්නේ ඉකුත් 17 වැනිදා අලුයම් කාලයේය. ඔහු අසනීපයෙන් පසු වූ බව සිපිරිගෙයි සගයා වූ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නත් දැන උන්නේය. එහෙත් තමන් ගැන විශ්වාසයෙන් උන් සත්‍යාගේ මරණය අජිත්ට මහත් කම්පනයක් ඇති කරලීය.
“මම හිටපු කේ වාට්ටුවේමයි සත්‍යාත් හිටියේ. එයාට වකුගඩු අමාරුවක් තිබුණා. එයාට වැසිකිළි යන්න වුවමනා වෙන නිසා වැසිකිළිය ළඟමයි හිටියෙ. එයා කාලයක් අපිත් එක්ක බන්ධනාගාරෙ ඇතුළේ තාර පාරක ඇවිදලත් තියෙනවා. ටික ටික එයා ඇවිදින එක නතර කළා. එයාගෙ බඩ ඉදිමිලා. මම දන්න විදියට සත්‍යාට අමාරුවෙලා ඉරිදා රෑ අටයි ගාණකට බන්ධනාගාර රෝහලට අරගෙන යන්නෙ. සඳුදා පාන්දර සත්‍යා නැතිවෙලා. වකුගඩු අක්‍රිය වුණ ලෙඩෙක් ඉන්න ඕන බන්ධනාගාරෙ වාට්ටුවෙද නැත්නම් රෝහලේද. එයාට හරියට ප්‍රතිකාර ලැබිලා නැහැ. මෙයා තමයි හොඳම සිරකරුවා. වැඩිම රාජකාරියක් කළ කෙනා. එයාට සලකන්නෙ ඔහොම නම් අනිත් සිරකරුවන්ට කොහොමද. සත්‍යා නැති වුණා කියල දැනගත්තම මට මාරම විදියට දුක හිතුණා. හරිම හොඳ මනුස්සයෙක්. අපි අයියා මල්ලි වගේ ඇතුළෙදි හිටියෙ. එයාට මම පොරොන්දු වුණා කොහොමහරි නිදහස් කරගන්නවා කියලා. ඒත් මට එයාට වුණ පොරොන්දුව ඉෂ්ට කරන්න බැරි වුණා. සිර දඬුවම අවසන්වෙලත් අවුරුදු දහයක වැඩිපුර කාලයක් සත්‍යා සිර දඬුවම් වින්දා..”වි්ශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න කියන්නේ බොහෝ සංවේදීවය.
සත්‍යාට අත්වූ ඉරණම ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැත්තෙන් කියන්නේ වෙනස්ම කතාවකි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්නගෙන් සත්‍යා ගැන විමසීමේදී ඔහු කීවේ මෙවැන්නකි.
“මේ පුද්ගලයාට දඬුවම් කරල තියන්නෙ හෙරොයින් කිලෝග්‍රෑම් විසිතුනකට අදාළව. එල්ලුම්ගහට නියමවෙලා ඉඳලා ඒ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට වෙනස් කරලා. හෙරොයින්වලට අද දක්වා කිසිම කෙනකුට සමාවක් දීලා නැහැ. මිනීමැරුම් නඩුවලට ජීවිත සමාව හම්බවුණත් හෙරොයින්වලට හම්බවෙන්නෙ නැහැ. ජීවිතාන්තය දක්වා දුන් සිර දඬුවමක් අවුරුදු විස්සකට සීමා කරල දෙන්නෙත් නැහැ. එහෙම දඬුවම් මගේ මේ සේවාකාලෙදි හමුවෙලාත් නැහැ… ” යනුවෙනි.
සත්‍යා සේම පුනරුත්ථාපනය වී දීර්ඝ කාලයක් තිස්සේ සිර දඬුවම් විඳින දහස් ගණනක සිරකරුවෝ අදටත් බන්ධනාගාරවල සිරබත් කමින් සිටින්නෝය. මේ උදවිය සේම මරණීය දණ්ඩනය හිමි වූ සිරකරුවන් ගැනද විශ්‍රාමික මේජර් අජිත් අපට කීවේය. ඔහු පවසන්නේ සිරකරුවන්ගේ හැසිරීම ගැන සමාලෝචනය කරන සිව්වස් සමාලෝචනය වර්තමානයේ ක්‍රියාත්මක නොවීම සිරකරුවන්ට කරන අසාධාරණයක් බවය.
හැම සිරකරුවෙක්වම බන්ධනාගාරයට පැමිණ සෑම වසර හතරකට වාරයක් සමාලෝචන මණ්ඩලයට යැවිය යුතු වුවද දැනට වසර ගණනාවක් තිස්සේ එය ක්‍රියාත්මක වී නැත්තේය. සිරකරුවාගේ හැසිරීම, තමන් කළ වරද ගැන කෙතරම් දුරට පසුතැවෙන්නේද, පුනරුත්ථාපනය වී ඇත්ද, සමාජගත කළ හැකි තත්ත්වයේ සිටින්නේද යන්න ගැන එතැනදී පරීක්ෂා කෙරෙන්නේය. දීර්ඝ කාලයක් සිර දඬුවම් විඳින සිරකරුවකු නම් පළමු වතාවේ සමාලෝචනයට යවා තවත් අවුරුදු හතරක කාලයක් දක්වා රඳවා තබාගන්නේය. යළිදු වාරයක් සිව්වස් සමාලෝචනයට ඉදිරිපත් කරන විටත් එම සිරකරුගේ හැසිරීම යහපත් නම් දඬුවම අඩු කරන්නට නිර්දේශ වෙන්නේය. විශ්‍රාමික මේජර් අජිත් කියන හැටියට දෙදහස් දෙක වසරෙන් පසු සිව්වස් සමාලෝචනය නවතා දමා ඇති බවය.
“මරණ දඬුවම හිමිවුණ අයටත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින සිරකරුවන්ටත් අද කිසිම සහනයක් නෑ. පුනරුත්ථාපනය කළ මනුස්සයෙක් මැරෙනකල් හිරගෙදර තියන්නෙ ඇයි. ඒක අසාධාරණයක්. මරණ දණ්ඩනය හිමිවුණ අය වැලිකඩ චැපල් අංශයේ යටම තට්ටුවෙ ඉන්නෙ. මේ අයව දවසකට එළියට ගන්නෙ විනාඩි හතළිස් පහයි. එළිය දකින්න බැහැ. එයාල බහුතරයකගෙ දැන් ඇස් පේන්නෙ නැහැ. මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නෙ නැත්නම් ඇයි එයාලව එහෙම හිරකරල තියන්නෙ. ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින අයට වැඩ අංශවල වැඩ කරන්න පුළුවන්. හවස් වෙනකල් එළියෙ ඇවිදින්න පුළුවන්. ඇයි මරණ දණ්ඩනය අයටත් එහෙම ඉන්න දෙන්න බැරි. හරිම කෲරයි..”විශ්‍රාමික මේජර් අජිත් කියන්නේය.
සිරකරුවන්ගේ සිව්වස් සමාලෝචනය ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්නගෙන් විමසූ විට හෙතෙම කීවේ නුදුරු දිනෙකදී සිව්වස් සමාලෝචනය ක්‍රියාත්මක වීමට නියමිත බවය. කෙසේ නමුදු සිපිරිගෙයි හොඳම සිරකරුවා වූ සත්‍යාට සිව්වස් සමාලෝචනයෙන් හෝ ගෙදර යන්නට වාසනාව උදා වෙන්නට පෙර මාරයා ඉස්සර විය.
ඉකුත් බ්‍රහස්පතින්දා ගොම්මනේ මළහිරු මන්නාරම් වෙරළ තීරයේ සැඟව යන වේලාවේදී සත්‍යා දෙව් මව් තුරුලේ සැඟවුණේය. එදා තිස් දෙවසරකට ඉහතදී අප්පා බලන්නට ආ සත්‍යාට සුරලොවදී අප්පා මුණ ගැසෙනු ඇත. ඒ මන්ද යත් සත්‍යාගේ ඉරණම සිපිරිගෙට ලියැවී කිහිප වසරකින් ඔහුගේ අප්පා ද දෙව් මවු තුරුලේ සැඟව ගිය නිසාය.